විල්පත්තුව: අලුතින් සංරක්ෂිත වනාන්තරයක්

විල්පත්තු වන උද්‍යානය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

විල්පත්තු වනෝද්‍යානයට උතුරින් පිහිටි වනාන්තර හතරක් සංරක්ෂිත කලාප ලෙස නම් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අනුමැතිය ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් සියලුම රක්ෂිත වනාන්තර එක් කොට තනි සංරක්ෂිත කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා වූ ගැසට් පත්‍රයට සිය රුසියානු සංචාරය අතරතුර ජනාධිපතිවරයා විසින් අද (මාර්තු 24) අත්සන් තැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ඒ අනුව ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මාවිල්ලු, වෙප්පල්, කරඩික්කුලි, මරිච්චකට්ටි, විලත්තිකුලම් හා පෙරියමුරුප්පු යන රක්ෂිත සියල්ල එකතු කර වන සංරක්ෂණ ආඥා පනතේ "3අ" වගන්තිය යටතේ "මාවිල්ලු සංරක්ෂණ වනාන්තරය" ලෙස ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

"මාවිල්ලු සංරක්ෂණ වනාන්තරය"

"එහි මායිම් වෙනස් කිරීමට අවශ්‍ය නම් වන සංරක්ෂණ ආඥා පනතට අනුව එය සිදු කළ හැක්කේ අදාළ විෂය භාර ඇමතිවරයා විසින් සාදන ලද නියමයක් ජනාධිපතිවරයා විසින් අනුමත කරන ලදුව පාර්ලිමේන්තුවේ සම්මත කොට එසේ සම්මත කළ දැන්වීම ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුවය" යනුවෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

ඒ අනුව උක්ත වනාන්තරය සඳහා උපරිම නීතිමය ආවරණය ලැබී එහි ආරක්ෂාව තවදුරටත් තහවුරු වනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

විල්පත්තු වනෝද්‍යානය හා ඊට යාබද වනාන්තර අනවසරයෙන් හෙළි පෙහෙළි කිරීම් ගැන පසුගිය සමයේ මාධ්‍ය වාර්තා පළ වුවත් 2012/2013 වර්ෂවල දී මුදාහැර ඇති වනාන්තර ඉඩම් හැරුණු කොට වෙනත් වනාන්තර හෙළි කිරීමක් සිදු වී නොමැති බව ඒ සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනවලින් පෙනී ගොස් ඇති බවත් ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් කියා සිටියි.